They don't care about us

සිදුහත් කුමාරයා මෙලොවට බිහිවූයේ මහාමායා දේවියගේ කුසයෙනි. ඇය කළුරිය කළපසු මහා ප‍්‍රජාපතී ගෝතමී දේවිය සිදුහත් කුමාරයා ඇතිදැඩි කළේය. මහා ප‍්‍රජාපතී ගෝතමී මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑමට ප‍්‍රථම බුදුරජාණන් වහන්සේ හමුවූ අවස්ථාවේ  බුදුරජාණන් වහන්සේ ඇය පසුපස වැඩම කර ඇයගේ මව් ගුණයට තම ගෞරවය පුදකළ සේක. බුද්ධත්වය ලබාගෙන කිඹුල්වත් පුරයට වැඩමකළ අවස්ථාවේ සියල්ලන්ම බුදුරජාණන් වහන්සේලෙන් දැකීමට පැමිණෙද්දීත් නොපැමිණි යශෝදරා දේවිය අභිමුවට බුදුරජාණන් වහන්සේ වැඩමකලේ ගිහි ජීවිතයේ සිට සත්‍යය සොයායාම දක්වා ඇය ලබාදුන් සහයෝගයට ගෞරව කිරීමක් ලෙසය. කාන්තා විමුක්තිය වන වචන දෙක පිළිබදව සිහිනෙන්වත් නොසිතූ යුගයක බුදුන් වහන්සේ තම ධර්මය තුලින් කාන්තාවන්ට විමුක්තිය උදාකර දුන්සේක.
එක් අවස්ථාවක රාජ්‍යයේ  රජතුමා ආරාධනා කළ දානය ප‍්‍රතික්ශේප කළ බුදුරජාණන් වහන්සේ රජුට ප‍්‍රථම තමාට ආරාධන කළ නගර සුරූපිනියගේ දානයට වැඩිසේක. එ් අතීත කථාවයි. එම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව තැන්පත් කර තිබෙන ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාරයා තෝරන අවස්ථාවේ ඡුන්දය භාවිතා කරන්නට කාන්තාවකට නොහැකිය. ඒ වර්තමාන කථාවයි. සීමිත පිරිසකට පමණත් ඡුන්දය භාවිතා කරන්නට අවස්ථාව ලැබෙන එම නිලවරණයේ දී ඡුන්දය භාවිතා කරන්නට හැකි එක් පුද්ගලයෙක් නම් එම ප‍්‍රදේශයේ දිසාපතිය. නමුත්   දිසාපති දිසාපතිනියක් නම් එනම් ඇය කාන්තාවක් නම් ඇයට එම අවස්ථාව අහිමි වී යන්නේය. එහිදී පෙන්නේ දිසාපතිකම නොව ඇයගේ ගැහැණුකමය.
බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව කාන්තාවකගේ කෙස් කළඹේ සඟවාගෙන මෙරටට වඩමන්නට හොඳය. නමුත් එම දන්ත ධාතුවේ ගිහි භාරකාරයා තෝරන නිලවරණයට ඡුන්දය භාවිතා කරන්නට කාන්තාව හොඳනැත. එතෙක් මෙතෙක් ලොව බිහිවූ අංක එකේ කාන්තා විමුක්තිදායකයා වන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කර ඇති අපරාධයක තරම.
පිරිමියා නියම පිරිමියෙකු වන්නේ ස්තී‍්‍රත්වයට දක්වන ගෞරවය මතය. එදා කුලවාදයෙන් බමුණුවාදයෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු කාන්තාවටත් සමස්ත ස්තී‍්‍ර වර්ගයාටත් විමුක්තිය මාර්ගය පෙන්වූ විමුක්තිදායකයානන්ගේ ධර්මය පිළිපදිනවා යයි කියාගන්නා පිරිසම එම කාන්තාව අවලංගු කාසියක් බවට පත්කර තිබේ. ජනපි‍්‍රය මාතෘකා වෙනුවෙන් කෑගසන ඊනියා කාන්තා සංවිධාන හෝ මේ තත්වය වෙනුවෙන් හඬනගා නැත. ගැහැණියක් ඡුන්දය භාවිතා කිරීමෙන් පිරිමි පාරිශුද්ධත්වය කෙලෙසෙන්නේ කෙසේදැයි යන්න මටනම් ප‍්‍රශ්ණයකි.  එය අනෙක් අයට නම් එතරම් ප‍්‍රශ්ණයක් නොවන බව දියවඩන නිලමේවරුන් විස්සක් තෝරාගන්නා තුරු එක්දාස් අටසිය ගණන්වල සිට පැවත එන මෙම ක‍්‍රමය වෙනස් කිරීමට කිසිවෙකු හෝ හඬක් නොනැගීම හෝ ඉදිරිපත් නොවීම මඟින් පෙනී යයි.
මෙරට කාන්තා පුවත්පත් සහ රූපවාහිනී  කාන්තා වැඩසටහන් උදේ සිට ? වනතුරු සායම් උලන හැටිත් සාරි තෝරන අඳින හැටිත් කථාකරනවා හැර මෙවැනි මාතෘකා ගැන නිකමටවත් කථාකර තිබෙනවාද?
ගැහැණියක් වූ පලියට ඡුන්දය දීමට නොහැකිවුවත් එවන් ගැහැණියක් නොවූවානම් දියවඩන නිලමේ තනතුරට ඉල්ලීමට හෝ එයට ඡුන්දය භාවිතා කිරීමට එම පිරිමින්ට මෙලොව එලිය දැකීමට නොහැකි වීම මෙහි ඇති අනෙක් වඩාත්ම හාස්‍යජනක කාරණයයි.

Comments

Popular Posts