Christmas on sale



වසරක් ගෙවී නව වසරක් ඇරෙඔන බව බව හා අසිරිමත් නත්තල උදාවන බව අප මතකයට  නංවන්නේ දෙසැම්බර් මාසයයි. 
    කි‍්‍රස්තු භක්තිකයන් ඔවුන්ගේ ශාස්තෘවරයානන් වන ජේසු සමිදානන්ගේ උපත සිදු වූ බව කියන නත්තල දින ඉතා උත්කර්ෂවත් ලෙස සමරති. නත්තල උදාවන බව දැනුම් දෙන්නේ නත්තල් සීයා හා නත්තල් සීයාගේ කරත්තයේ බැදි පිණි මුවන්ගේ සීනු නාදයයි.
    කතෝලික ආගමේ සාන්තුවරයෙක් වන ශාන්ත නිකලස්තුමා නත්තල් සීයා ලෙස හැඳින්වේ. දේවගැතිවරයෙක් වූ ඔහු නත්තල් දිනයන්ට තම ප‍්‍රදේශයේ ජීවත් වූ අසරණ දුප්පත් දරු දැරියන්ට හිම කරත්තයෙන් ගොස් තෑගි බෝග බෙදා දුන්බව කියවේ. එම සේවයට උපහාර වශයෙන් මරණින් පසු එතුමා ශාන්තුවර තත්වයට උසස් කර තිබේ. ඉන්පසුව නත්තලේ පණිවුඩය රැගෙන එන නත්තල් සීයා ලෙස එතුමාව මුඑ ලෝකයම ආදරයෙන් පිලිගෙන ඇත.
         වෙසක් උත්සවය පවා වානිජකරණය වී අවසන් සමාජයක එයින් බේරී සිටීමට නත්තල් උත්සවයට ද නොහැකිය. අනෙකුත් සංස්කෘතික ආගමික උත්සව සේම නත්තල ද අදවන විට වෙළද භාණ්ඩ විකුනා ගන්නා හා එහි සංකේතය වන නත්තල් සියා කඬේ යවන තවත් එක් වානිජ උපක‍්‍රමයක් බවට පත් වී හමාරය.
    ශාන්තුවරයෙක් වන නත්තල් සීයා අද වන විට සුපිරි සාප්පු සංකීරණ ඉදිරිපිට ඞී ජේ සංගීතයට පිස්සු නටන රූකඩයක් බවට වෙළද ලෝකය විසින් පත්කර තිබේ. එලෙස නත්තල් සියා ලෙස අඳින පුද්ගලයන් හෝ ඔවුන් එලෙස අන්දන මුදලාලිලා හෝ නත්තලේ සැබෑ අරුත හා නත්තල් සීයා යනු කවරෙක්දැයි යන්න හඳුනනවාදැයි යන්න ප‍්‍රශ්නයකි.
    මේ කාලයේ බොහෝ වෙළද දැන්වීම් වලට ද මාතෘකාව වන්නේ ද නත්තල් සීයාය. දුප්පත් දරුදැරියන් වෙනුවෙන් පෙනී සිටි නත්තල් සීයා අදවන විට බහුජාතික සමාගම්වල වෙළද භාණ්ඩ විකුනන්නෙකි. නත්තල් සීයා සාම්ප‍්‍රදායිකව සැරසෙන්නේ රතු පැහැ ඇදුමෙනි. නමුත් පසුගිය කාලයේ ප‍්‍රචාරය වූ එක්  වෙළද දැන්වීමක දැක්වෙන්නේ නත්තල් සීයා නිල් පැහැයෙන් සැරසී තෑගි ගෙන එන බවය. මක්නිසාද යත් අදාල භාණ්ඩය විකුණන සමාගමේ නිල වර්ණය හෙවත් නිල ලාංජනයේ පැහැය නිල් පාට වන බැවිනි තම වෙළද අවශ්‍යතාවය වෙනුවෙන් ශාන්තුවරයෙකුගේ ඇදුමේ පැහැය පවා වෙනස් කරන්නේ එලෙසය. ඉදිරියේ දී ඩෙනිම් කලිසම් නිෂ්පාදකයෙකු නත්තල් සීයා ඩෙනිම් කලිසමකින් සැරසී තෑගි බෙදන ආකාරයේ වෙළද දැන්වීමක් නිර්මාණය කලද  එය පුදුම වන්නට කාරණාවක් නොවන්නේ මෙවැනි වටපිටාවකය.
        වෙසක් කූඩුවට මෙන්ම ම ගවලෙනට ද අත් වී ඇත්තේ එකම ඉරණමය. වෙසක් කූඩුව, ගවලෙන මෙන්ම නත්තල් ගස ද සාමූහිකත්වයේ සංකේතයන්ය. පවුලක මව, පියා හා දරු පිරිස හෝ වෙනයම් පිරිසක් සමගියෙන් සතුටින් එක්රැස් වී ගවලෙනක් නත්තල් ගසක් නිර්මාණය කිරීමෙන් ඔවුන්ගේ සිතේ සාමූහිකත්වයේ අගය නිරායාසයෙන් ම තැන්පත් වේ. නමුත් අදන විට ගවලෙන සාමූහිකව නිර්මාණය කරන්නට කිසිවෙකුටත් වෙලාවක් හෝ අවශ්‍යතාවයක් නොමැත. අද එතැන අයත් කරගෙන තිබෙන්නේ වෙළදපලේ විකිණීමට තබා තිබෙන රෙඩි මේඞ් ගවලෙනයි.
    ජේසු බිලිදා ගවලෙනක් තම උපත සදහා තෝරා ගත්තේ සමානාත්මතාවය ලොවට පෙන්වා දීමට අසරණයන්ට දුප්පතුන්ට පීඩිතයන්ට අන්අයගේ අවධානය යොමු කිරිමටය. එවන් අසරණයන්ට දුප්පතුන්ට අවධානය යොමු වන නත්තලක් අද සමරනවා ද යන්න සැක සහිතය. අසරණයන්ට දුප්පතුන්ට ආහාර වේලක් දීමේ දුප්පත් දරුවෙකුට යම්කිසි තෑග්ගක් දී සිත සතුටු කිරිමේ නත්තල අද සැමදෙනාටම අමතකය. වෙනතක් තබා නත්තල සමරන්නේ පීඩිතයන් වෙනුවෙන් කුරුසියේ තම ජීවිතය පූජා කල ජේසු සමිදානන්ගේ උපත සැමරීමට  බව බොහෝ දෙනෙකුට අමතකය. අද එය වෙළද සැණකෙළියක් පමණි.
    තමාගේ නත්තල පව පල්ලි යන නත්තල බව ස්වර්ගස්ථ ගරු මර්සීලීනු ජයකොඩි පියතුමා වරෙක රචනා කලේය.  මේවන විට එම නත්තල  අහිමි වී බොහෝ කල්ය.


   

   

Comments

Popular Posts