Viharamahadevi Park-The oldest park in Colombo
සුන්දර නගරයක තිබිය යුතු අංගෝපාංග අතර උද්‍යානයකට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සෞන්දර්යාත්මක වශයෙන් උද්‍යානයක් මගින් අලංකාරත්වය හා රමණීයත්වය විදහා දැක්වෙන අතර මහජනයාගේ මානසික සෞඛ්‍යයට ද එය ඉතා වැදගත්ය. නගරයකට උද්‍යානයක් කෙතරම් වැදගත්් වන්නේද යත් උද්‍යානයක් යනු නගරයේ පෙනහළු ලෙස හැඳින්වේ. කොලඹ නගරයේ සිත නිවන උද්‍යාන රැුසක්ම තිබෙන අතර ඉන් පැරණිම උද්‍යානය වන්නේ විහාර මහාදේවි උද්‍යානයයි. වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන විහාර මහාදේවි උද්‍යානය කොලඹ පිහිටි තවත් එක් රමණීය ස්ථානයකි.
මහනගර සභා භූමිය අවට වාහන තදබදය මැද අතරමංවන දෙනෙතට දර්ශනය වන සමාධි බුදු පිලිමය නොසන්සුන් වූ සිත සන්සුන් කරවයි. බුදු පිලිමය අවට තිබෙන අලංකාර වතුර මලින් ලැබෙන සිසිලස ගත දාහය නිවා දමයි. නේක ගස්වැල් දිය පොකුණු සහිත රමණීය බිම් කඩෙහි අසිරිය දැක ගැනීමට රිසි ඕනෑම අයෙකුට ක‍්‍රමාණුකූලව සැකසුනු මං පෙත දිගේ මද දුරක් ඇවිද යා හැකිය.
මෙරට බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව තිබූ සමයේ කොලඹ නගරවාසීන්ට විනෝදයෙන් හා විවේක සුවයෙන් කාලය ගත කිරීමට උද්‍යානයක් අවශ්‍ය විය. එ් අනුව අක්කර සියයකින් සමන්විත භූමි භාගයක් වර්ෂ 1866 දී යටත් විජිතභාර මහ ලේකම් විසින් වෙන් කරනු ලැබීය. ඉන්පසුව එය සර්කියුලර් උද්‍යානය ලෙසින් හැදින්විනි. එදවස එහි ගෝල්ෆ් පිටියක් හා ටෙනිස් පිටියක් තිබී ඇති අතර සෑම සතියකට වරක්ම ති‍්‍රවිධ හමුදා සංගීත කණ්ඩායම් සහභාගී වූ සංගීත වාදන සංදර්ශණ ද පවත්වා තිබේ. වර්ෂ 1887 දී වික්ටෝරියා රැුජිනගේ ස්වර්ණ ජයන්ති උළෙල නිමිත්නෙන් එය වික්ටෝරියා උද්‍යානය ලෙසින් නම් කරනු ලැබීය.
දෙවන ලෝක යුධ සංග‍්‍රාමයේ දී ආරක්ෂක රෙගුලාසි යටතේ මෙම උද්‍යානය යුද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පවරාගෙන මිත‍්‍ර පාර්ශවීය කදවුරක් ලෙස භාවිතා කර ඇත. යුද්ධයෙන් පසුව යුධ වන්දි වශයෙන් ලැබුනු මුදලින් නැවත සම්පූර්ණයෙන් ම ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වර්ෂ 1951 අගෝස්තු මාසයේ දී උද්‍යානය මහජනයා සදහා විවෘත කර තිබේ.
මෙරට මහා බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු වර්ෂ 1956 ට යෙදුනු බුද්ධ ජයන්ති උළෙලේ දී ලංකා ඉතිහාසයේ සුප‍්‍රකට වීර මාතාවක් වූ විහාර මහා දේවියගේ නමින් එම උද්‍යානය විහාර මහාදේවි උද්‍යානය ලෙස නම් ලැබීය. විහාර මහාදේවි ගුණානුස්මරණ කමිටුවේ සාමාජිකත්වය දරූ පසුව සිරි දත්තා දසසිල් මාතාව බවට පත් වූ සිරි දත්තා ජයකොඩි මහත්මිය විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව එම නම් කිරීම සිදුවිණි.
පසු කාලයේ දී මෙම උද්‍යානය අලංකාරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය අංග එකතු කරමින් නවීකරණ කටයුතු සිදුකර ඇති අතර වර්ෂ 1959 දී එලිමහන් රංග පීඨය ඉදිකරන ලදී. කොලඹ මහ නගර සභාවේ සංවත්සරය නිමිත්තෙන් වර්ෂ 1965 දී උද්‍යානයේ බුද්ධ ප‍්‍රතිමාවක් තැනීම පිනිස මුල්ගල තබන ලද අතර මාපලගම විපුලසාර හිමියන් විසින් නිම වූ එම ප‍්‍රතිමාව මෙරට ප‍්‍රථම ජනාධිපති වන විලියම් ගොපල්ලව විසින් වර්ෂ 1972 දී විවෘත කර ඇත. වර්ෂ 1980 දී උද්‍යානයට පැමිනෙන ළමුන්ට විනෝද වීම සදහා සතුටු උයන ඉදි කර තිබේ.
ගත වූ කාලයේ දී විවිධ කාර්යයන්ට උද්‍යානයට අයත් භූමියෙන් විශාල කොටසක් යොදා ගැනුනු නිසා වර්තමානයේ එය අක්කර පනහක පමණ භූමි භාගයකට සීමා වී ඇත. වටිනා වෘක්ෂලතා සියයක් පමණ මෙහි රෝපණය කර තිබේ. කොළඹ පුරහල අභියස සමාධි බුද්ධ ප‍්‍රතිමාව අසලින් හා කොලඹ කුමාරස්වාමි මාවතේ කලා භවන ඉදිරිපිටින් උද්‍යානයට පිවිසිය හැකිය. සමාධි බුදු පිලිමය, අනගාරික ධර්මපාලතුමාගේ පිලිරුව, දෙවෙනි ලෝක මහා සංග‍්‍රාමයේ දී දිවි පි¥ රණවිරුවන් වෙනුවෙන් ඉදිකල ස්මාරකය හා බාල දක්ෂ සිහිවටන කුළුන මෙහි පිහිටි වැදගත් අතීත ස්මාරක වේ.
උද්‍යානය අලංකාරවත් ස්ථානයක් ලෙස පවත්වාගෙන යාමට කොලඹ මහ නගර සභාව උත්සසාහ දැරුවද කාලයත් සමග එය යාචකයන්ට අයාලේ ගමන් කරන්නන්ට හා පෙම්වතුන්ට පමණක් වෙන් වූවක් බවට පත්විණි. අභිමානවත් ඉතිහාසයක් ඇති විහාරමහාදේවි උද්‍යානයට අත් වී තිබෙන එම කණගාටුදායක තත්වයට අවධානය යොමුකල ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය වර්ෂ 2011 අපේ‍්‍රල් මාසයේ සිට උද්‍යානයේ නවීකරණ කටයුතු ආරම්භ කලේය. අද අප දකින්නේ එලෙස නවීකරණය වූ උද්‍යානයයි.
ලොවපුරා ප‍්‍රධාන නගරයන්හි තිබෙන මහජන උද්‍යානයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණය වන්නේ තාප්ප, බැරියර්, ගේට්ටු ආදිය යොදා ආවරණය නොකල නිදහස් විවෘත වටපිටාවක එය පිහිටා තිබීමය. එය ආදර්ශයට ගෙන විහාර මහාදේවි උද්‍යානය පුරාවට තිබූ යකඩ වැටවල් ඉවත්කර සීමා මායිම් නොමැති වටපිටාවක් සකස් කර ඇත. යකඩ වැට ගැලවීම හා ගස් ආවරණය ක‍්‍රමවත්ව කප්පාදු කිරීම නිසා උද්‍යානයේ සුන්දරත්වය මහා මාර්ගයට ද විවෘතය. සීමා මායිම් වෙන් කිරීමට කොන්කී‍්‍රට් තාප්ප යකඩ වැටවල් වෙනුවට වර්ණවත් මල් පූදින ශාක වර්ග හා වර්ණවත් පත‍්‍ර ඇති ශාක වර්ග සිටුවා තිබේ. උද්‍යානයේ එකම වර්ගයේ තණ පිඩලි අල්ලා පෙර පැවති විශාල ප‍්‍රමාණයේ ගස් පදුරු කිසිවක් ඉවත් නොකර මී, පළු, බුරුත, ඇසල ශාක අළුතින් එක්කර නව උද්‍යාන සැලසුම ඇතිකර තිබේ. වාහන දුමෙන් ¥ෂණය වන පරිසරට නව වාතාශ‍්‍රයක් එක් කිරීමට මෙලෙස තුරුලතා වැඩිකර තිබේ.
කොලඹ මහනගර සභා භූමියත් විහාර මහාදේවි උද්‍යානයත් එකම භූමියක් ලෙස ගෙන මෙම නවීකරණ කටයුතු සිදුකර ඇත. පුරහල නිදහස් චතුරස‍්‍රය විහාර මහාදේවි උද්‍යානය හා අවට පාරවල් සියල්ලත් එකම භූමියක පිහිටන අයුරින් පෙනීමට විශේෂිත වීදි අලංකරණ ලාම්පු භාවිතා කර ඇත.
පසුගිය කාලයේ දී අබලන්ව තිබූ එලිමහන් රංග පීඨය සම්පූර්ණයෙන්ම නවීකරණය කර නාට්‍ය නිර්මාණයන් සංගීත සංදර්ශනයන් ආදිය පැවැත්වීමට විවෘත කර තිබේ. වල් බිහි වී අතහැරදමා තිබුනු පොකුණු යලි හාරා ප‍්‍රතිසංස්කරණය කර එ්වාට දර්ශණීය විදුලි ආලෝකය ලබා දී ඇත. අළුතින් එක් කරන ලද වතුර මල් චමත්කාර ජනකය. සමාධි බුදු පිලිමය අවට අළුතින් වතුර මල් හා ආලෝක ධාරා එකතු කර වැඩිදියුණු කර ඇත.
පාරිසරික හා සාමාජීය වශයෙන් වටිනාකම් එකතුවන අයුරින් නිර්මාණය කර තිබෙන උද්‍යාන භූමිය පුරාවටම ඕනෑම අයෙකුට නිදහසේ අසුන්ගෙන අවට සිරි නැරඹිය හැකි ආකාරයට අලංකාර උද්‍යාන ආසන සකස්කර තිබේ. දෙදෙනෙකුට තිදෙනෙකුට හෝ සිව්දෙනෙකුට අසුන්ගත හැකි අකාරයට මේවා නිරිමාණය කර ඇත. උද්‍යානයට පැමිනෙන අයට අවශ්‍ය ආහාරපාන ලබාගැනීමට උද්‍යානයේ ඇති අවන්හහල අළුත්වැඩියා කර තිබේ.
දිනයේ පැය විසි හතර පුරාවටම විවෘතව පවතින උද්‍යානයට ඕනෑම අයෙකුට ඕනෑම වේලාවක දී පැමිණිය හැකි සේම ඔවුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිලිවෙලක් ද සකස් කර ඇත. උද්‍යානයකට අත්‍යවශ්‍ය අංගයක් වන නවීන අංගෝපාංගයන්ගෙන් යුත් පොදු වැසිකිළි පද්ධතියක් ද ඉදිකර ඇත. දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමට හැකි වටපිටාවකින් යුක්තව නවීන අංග එකතු කර ළමා උද්‍යානය අළුත්වැඩියා කර තිබේ. උද්‍යාන භූමිය වටා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද විනෝදය හෝ ශාරීරික සුවතාවය පිණිස පාපැදි පැදිය හැකි මං තීරුවක් ඇත. තවද ඕනෑම අයෙකුට ප‍්‍රයෝජනයට ගතහැකි ශාරීරික ව්‍යායාම මං තීරුද නව්‍යකරණය වූ උද්‍යානය තුල තිබේ.
නාගරික සිර කූඩුවෙන් මොහොතකට හෝ මිදිය හැකි ක්ෂේම භූමියක් සොයන්නෙකුට විහාර මහාදේවි උද්‍යානය තවත් එක් හොඳ විකල්පයකි. උද්‍යානයේ ගහකොල ඒවායේ සිට නාදකරන කුරුල්ලන්, හිමිදිරියේ කෑම සොයා යන ලේනුන්, වතුර ගලායන ශබ්දය, විකසිත වී සුවද හමන පුෂ්පයන් ඔබ ජීවත්වන බව ඔබහට කියාදෙනු ඇත.
Comments
Post a Comment