2017 නව වර්ෂය වසවිස නැති සුවඳැල් කිරිබතකින් ආරම්භ කරමු.



අතීත හෙල රජ දරුවන් ඇතුළු ප‍්‍රභූවරුන් සුබ කටයුතු සුවඳැල් කිරිබතකින් ආරම්භ කළ බව පුරාණ ග‍්‍රන්ථවල සඳහන් වේ. එ් අකාරයටම 2017 නව වර්ෂය වසවිස නැති සුවඳැල් කිරිබතකින් ආරම්භ කරමු.
මෙරට වී ගොවිතැන මෙයින් වසර 2900 කට ඉහත කි‍්‍රස්තු පූර්ව 9 වන සියවස තරම් පැරණි බව වාර්තා වේ. 1969 දී සිදුකල අනුරාධපුරය ඇතුළු නුවර කැනීම් කටයුතුවල දී අදින් වසර 2900 කට ඉහත දී මෙරට වී වගාව පැවති බවට පුරාවිද්්‍යාත්මක සාක්ෂි සොයා ගැනිනි.පැරණි හෙළ වී ගොවිතැන තුළ වී වර්ග හාරදහක් පමණ භාවිතා වී තිබූ නමුත් 1960 දී ලෝකයේ හරිත විප්ලවය ආරම්භවීමත් සමඟ පැරණි වී වර්ග භාවිතයෙන්  ඉවත් විනි.
ජලාශි‍්‍රත බැවින් වැඩි මඩ කුඔුරුවල වපුරන වී වර්ග ‘හැල් ’ නමින් හඳුන්වන අතර ජනවහරේ දී එය ‘ඇල් වී’ ලෙස  හැඳින්වේ. ජලය අඩු ප‍්‍රදේශවල ද ඇල් වී වගාව සාර්ථකව සිදුකළ හැකිය. එලෙස සාර්ථකව වගාකළ හැකි වී වර්ගයක් ලෙස ‘සුවඳ හැල් ’ හෙවත් ජන වහරේදී භාවිතාවන ‘සුවඳැල් ’ වලට විශේෂ තැනක් හිමිවේ.
කි‍්‍රස්තු වර්ෂ 5 වන සියවසේ දී වෛද්‍ය ශිරෝමනී බුද්ධදාස මහරජතුමා විසින් ලියන ලදැයි සැලකෙන ආයුර්වේද වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ඉහලින් පිළිගන්නා ග‍්‍රන්ථය වන සාරාර්ථ සංග‍්‍රහයේ හැල් වී වර්ග විස්සක් පිළිබඳව  සඳහන් වේ. එයට සුවඳැල් ද අයත් වේ. හැල් වී වල ගුණ පිළිබඳව සාරාර්ථ සංග‍්‍රහයේ සඳහන් වන්නේ මෙසේය.
”හැල් ජාතීහු මිහිරි වෙති. කටහඬ මිහිරි කරවයි. කටහඬ හා වදන් තෙපලීම පාලනය කරයි. හැල් හාලේ බත් කටට පි‍්‍රය ඇත්තේය. එය ලූහුය. ශීත වීර්යය ඇත්තේය. සිරුරෙන් පිට කරන මුත‍්‍ර ප‍්‍රමාණය වැඩි කරයි. ශුක‍්‍ර ධාතුව වර්ධනය කරයි. උණ රෝග හා තුන්ෙදාස් පහකරන ගුණයෙන් යුක්තය.”
සුවඳැල් වී ඵල දරන කාලය මාස තුනක් වන අතර සුවඳැල් කරල්  පැසෙනවිට ‘කෙත සුවඳයි බත සුවඳයි’ ලෙස ජන වහරේ හැඳින්වේ. සුවඳැල්  වී පැසෙන විට සුවඳ හමන ආකාරයටම එයින් බත පිසෙන විටද මිහිරි සුවඳක් වහනය වේ. මෙම සහල් සතු ඇරොමැටික වාෂ්පශීලී කාබනික සංයෝග නිසා මෙය සිදුවේ.
සුවඳැල් සහල් වර්ග දෙකකි. රත් සුවඳැල් රතු නිවුඞ්ඩ සහිත සහල් වර්ගයකි. වඩා ජනපි‍්‍රය ඖෂධීය සුදු සුවඳැල් සුදු කැකුළු සහලකි. පැරණි වී ගොවිතැන ජන සංස්කෘතිය තුළ දී හඳුන්වන්නේ බුද්ධ බෝගයක් ලෙසය. එමනිසා සුවඳැල් වගාවේදී ද දේශීය ආගමික සිරිත් විරිත් වත්පිළිවෙත් සහිතව එය වගා කෙරේ.
දේශිය වී වර්ග එක එක පුද්ගලයා සඳහා විවිධාකාරයෙන් ගුණ ලබාදෙන බැවින් විවිධ හේතු කාරණා සඳහා මෙම වී වලින් ලැබෙන සහල් පැරැුන්නෝ භාවිතා කළහ. එ් අනුව කිරිදෙන අම්මලාට සහ දරුවන්ට ‘ගෝන බරු’ රජ වාසල යුධ සේනාවට ‘කළු හීනටි’ සර්ප විෂ සඳහා කැඳ පිසීමට ‘හීනටි’ ද මෙරට තුල භාවිතා විය. මෙහි දී සුවඳැල් භාවිතා කර ඇත්තේ රජතුමා ඇතුළු රජ වාසල ප‍්‍රභූන්ගේ පරිභෝජනය සඳහාය.
කෑම රුචිය වඩවන සුවඳවත් මෙම බතෙහි ගුණ පැරණි ආයුර්වේද ග‍්‍රන්ථවල දැක්වෙන්නේ මෙසේය. ”සුවඳැල් හාලේ බත මධුර රසයෙන් සහ සුවඳින් යුක්තය. එය කසට රසයෙන් යුත් හෙයින් ශරීරය මනාව වර්ධනය කරයි. කටහඬ මිහිරි හා පැහැදිලි කරයි. මුත‍්‍ර මෙන්ම ශුක‍්‍ර ද වර්ධනය කරයි. ” මේ නිසා සුවඳැල් සතුව වාජීකරණ ගුණයක් ඇතැයි ද පැරැුන්නෝ විශ්වාෂ කළහ. සුවඳැල් බත ඉඳිමුම් රෝගවලට  ද සුදුසුවන අතර පරණ වු සුවඳැල් සහලින් පිසෙන බත මධුමේහයට හෙවත් දියවැඩියා රෝගයට සුදුසු බවද ආයුර්වේදයේ සඳහන් වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා පැරණි සහල් වර්ග හතරක් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක දී සුවඳැල් හාලේ බත දියවැඩියා රෝගීන්ට සුදුසු බව සොයාගෙන තිබේ.
දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යනු ලබන්නේ ආහාර දිරවීමේ වේගය අනුව රුධිරයට සීනි එකතුවිම මගිනි. සුවඳැල් සහලේ තිබෙන දිරවීමේ ගුණය පමාකරන ග්ලයිසිමික් අගය ඉහළ බැවින් සුවඳැල් බත දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. කාර්මික තාක්ෂණ ආයතනය විසින් කළ පර්යේෂණයක් මඟින් සුවඳැල් දියවැඩියා රෝගයට ගුණදායක බව සොයාගෙන තිබේ.
මේ නිසා උදාවන්නා වූ 2017 නව වර්ෂය වෙනුවෙන් පිසින්නට වසවිස නැති සුවඳැල් කිරිබතක් මිස වෙනත් අහරක් තිබේද?








Comments

Popular Posts